ඉතිහාසය
සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි අවදිය දක්වා ඈත අතීතයට දිග යන ඉතිහාසයක් හා බැඳුණු කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ පරම පූජනීය සොළොස්මස්ථාන අතරින් එකක් වන අතර, එය ඉදිවී ඇත්තේ සම්බුදු පා පහසින් පරම පවිත්‍රත්වයට පත් රුහුණේ කතරගම පුදබිමේය.
බුදුරජාණන් වහන්සේගේ තුන්වන ලංකා ගමනයේදී 500ක් මහ රහතුන් පිරිවරා එවක කතරගම ප්‍රදේශයේ ක්ෂත්‍රිය පාලකයා වූ මහාඝෝෂට අයත් කිහිරි උයනෙහි සමවත් සුවයෙන් වැඩසිටි අසිරිමත් සිද්ධිය සිහිපත් කිරීම පිණිස මෙම මහා ස්තූපය ඉදිකර ඇත්තේ එසේ උන්වහන්සේ වැඩහුන් කිහිරි උයනෙහිම වීම සුවිශේෂී සිද්ධියකි. මෙම ස්තූපය මහාඝෝෂ විසින්ම ඉදිකරන ලදැයි ද, රෝහණ රාජධානියේ සමාරම්භකයා වූ දෙවන පෑතිස් සොහොයුරු මහානාග විසින් ඉදිකරවන ලදැයි ද යනුවෙන් මත දෙකක් වෙයි. මහාඝෝෂ විසින් ඉදිකළ කුඩා ස්තූපය පසුකලකදී මහානාග විසින් වැඩිදියුණු කර විශාල කර ඉදිකරවන ලදැයි ද අදහසක් වෙයි.
වර්තමානයේ අප දකින කිරිවෙහෙර ස්තූපය අවස්ථා 06කදී පමණ ප්‍රතිසංස්කරණ වලට ලක්වී ඇති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබේ. ඒ අනුව ආරම්භයේදී කුඩා ස්තූපයක්ව තිබුණු මෙය වර්තමානය වන විට විශාල ස්තූපයක් බවට විකාශය වී තිබේ.
නූතන ප්‍රතිසංස්කරණය සිදුවී ඇත්තේ ක්‍රි.ව. 1959 - 1970 අවදියේදීය. මේ ප්‍රතිසංස්කරණය අනුව ස්තූපයේ සම්පූර්ණ උස අඩි 99යි අඟල් 06කි. වට ප්‍රමාණය අඩි 277කි. සමචතුරශ්‍රාකාර මළු තුනකි. ප්‍රවේශ දොරටු හතරකි.